නාථකරණ ධර්ම යනුවෙන් තමාගේ සනාථ බව හෙවත් පිහිටක් ඇති බව ඇති කරන්නා වූ කාරණා දහයක් අංගුත්තර නිකාය අටුවා දේශනාවේ දක්වා තිබේ.
- පළමුවන නාථකරණ ධර්මය සීලයයි. තමාට නියමිත ශික්ෂා පද ධර්මයන් ආරක්ෂා කරමින් කුඩා මහත් වරදෙහි පවා බය දකිමින් සමාදන් වූ සීලය තුළ හික්මීම පළමුවන නාථකරණ ධර්මයයි.
- බහුශ්‍රුත බව දෙවන නාථකරණ ධර්මයයි. බහුශ්‍රුත වීම යනු ත්‍රිපිටක ධර්මය බොහෝ කොට අසා තිබීම, ධාරණය කර ගැනීම, වචනයෙන් පුරුදු කිරීම, මනසින් බැලීම, ප්‍රඥාවෙන් අර්ථකාරණා මැනවින් විනිවිද අවබෝධ කර ගැනීම යන සියල්ල හඳුන්වන වචනයකි. බොහෝ දේ අසා තිබුණාට එය සාසන බහුශ්‍රැත බව නොවේ. සාසන බහුශ්‍රැත බව වන්නේ ත්‍රිපිටක ධර්මය පිළිබඳව පෙර සඳහන් කරන ලද ආකාරයෙන් ඇසීම, ධාරණය, වචනයෙන් පුහුණු කිරීම, නුවණින් විමසීම, ප්‍රඥාවෙන් අර්ථකාරණා තේරුම් ගැනීම යන කාරණා සියල්ලටම කියන නමකි.
- තුන්වන නාථකරණ ධර්මය කල්‍යාණ මිත්‍රයන් ඇති බවයි. සම්බුද්ධ ශාසනය තුළ බුදුරජාණන් වහන්සේද, පසේබුදුරජාණන් වහන්සේද, අග්රශ්රාවකයෝද, අසූමහා ශ්‍රාවකයෝද, සෙසු මහරහතන් වහන්සේලාද, සෙසු මාර්ගඵලලාභීන්ද කල්‍යාණ මිත්‍රයෝ ලෙස හඳුන්වා ඇත. ඒ බව මංගල සූත්‍ර අටුවාවෙහි සඳහන් වෙයි. එබඳු කල්‍යාණ මිත්‍රයන් නැති කාලවලදී ත්‍රිපිටකය දන්නා තෙරුන් වහන්සේලාද, එබඳු අය නැති කල්හි පිටක දෙකක් දැන ඉගෙන ගත් සත්පුරුෂයෝද, එබඳු අය නැති කල්හි එක් පිටකයක් හෝ දැන ගත් සත්පුරුෂයෝද කල්‍යාණ මිත්‍රයෝ ලෙස සඳහන් කරනු ලබයි. (මහා මංගල සූත්‍ර අටුවාව) සීලවන්ත ගුණවන්ත උතුමෝද කල්‍යාණ මිත්‍රයෝය. (පඨම නාථකරණ සූත්‍ර අටුවාව ) එබඳු කල්‍යාණ මිත්‍රයන් ඇති කෙනෙකු විය යුතුයි. එබඳු කල්‍යාණ මිත්‍රයන් කෙරෙහි නැඹුරු වූ සිතක් ඇති කෙනෙකු විය යුතුයි. එය තමාගේ පිහිට සලසා ගැනීමට මහෝපකාරී වන බැවින් නාථකරණ ධර්මයකි.
- කීකරු වීම හතරවන නාථකරණ ධර්මයයි. සෑම විටම ධර්මයට පමණක් කීකරු විය යුතුය. යමෙක් අධර්මයෙන් අනුශාසනා කරන්නේ නම් කීකරු නොවිය යුතුය. යම් ධර්මානුකූල අවවාදයක් ලබා දෙන අවස්ථාවන්හිදී, ඉතා දරුණු වචනවලින් කරකස ලෙස අවවාදය ලබා දුන්නත්, ඉතා ගෞරවයෙන් යුතුව එම අවවාදය අසාගෙන සිටීමට හැකි ඉවසීමක් තමන්ට තිබිය යුතුය. නොකිපිය යුතුය. ඉතා ගෞරවයෙන් යුතුව එම අවවාදය පිළිගත යුතුය. පැරැන්නෝ අවවාදයක් ලබා දුන් කල්හි අවවාදය ලබා දුන් ආචාර්යවරයාණන් වහන්සේ වටා තුන් වරක් ප්රදක්ෂිණා කරමින් ගෞරවයෙන්ම එම අවවාද අනුශාසනා පිළිගත්හ.
- පස්වන නාථකරණ ධර්මය වන්නේ තමා සමග එකට වාසය කරන පැවිදි ස්වාමීන් වහන්සේලාගේ කුඩා මහත් කටයුතු කිරීමට දක්ෂ වන බවයි. සිවුරු සැකසීම, සිවුරු කැපීම, සිවුරු මැසීම, පඬු පෙවීම, පාත්‍ර ආදියෙහි තල තෙල් ආදිය ගැල්වීම, වාසය ස්ථානයෙහි වත්පිළිවෙත් ආදිය කිරීම, ගිලානෝපස්ථානය කිරීම, අන් අයගේ අවශ්‍යතා සොයා බලා කටයුතු කිරීම ආදී කුඩා මහත් සෑම දෙයක් කිරීමටම දක්ෂ විය යුතුය. එය මැනවින් කරන ක්‍රමවේදය හෙවත් උපාය ඥානයද තිබිය යුතුය. ඕනෑම දෙයක් සංවිධානය කිරීමේ හැකියාවද තිබිය යුතුය. මෙය නාථකරණ ධර්මයකි.
- හයවන නාථකරණ ධර්මය වන්නේ ත්‍රිපිටක ධර්මයට කැමති කෙනෙක් වීම, අන් අයට ඉතා ප්රියසේ ධර්ම දේශනා කිරීම, අභිධර්මය පිළිබඳවත් විනය පිළිබඳවත් සතුටෙන් ප්‍රීතියෙන් යුතුව ධර්ම දේශනා කිරීමේ හැකියාව යන මේවාය. මෙහිදී ධර්ම දේශනා කිරීමට නම් අභිධර්මය පිළිබඳවද, විනය පිළිබඳවද, සූත්‍ර පිටකය පිළිබඳවද මනා දැනුමක් තිබිය යුතුය. ඉගෙන ගැනීමේදී ද, කියාදීමේදී ද සතුට බහුලව කළ යුතුය.
- හත්වන නාථකරණ ධර්මය අරඹන ලද වීර්යය ඇති කෙනෙකු වීමයි. අකුසල ධර්මයන් ප්රහාණය කොට කුසල ධර්මයන් උපදවා ගැනීම පිණිස ස්ථිර වූ දැඩි වූ පරාක්‍රම වීර්යයක් තිබිය යුතුය. නැවත නැවත දැඩි සේ වීර්ය කිරීම පරාක්‍රම වීර්යයයි. එසේම වීර්යය කරන කල්හි අතරමග තමාගේ වීර්යය නවතා දැමීම නොකළ යුතුය. අතරමග අත්නොහරින වීර්යය ධුරය ඇති කෙනෙක් විය යුතුය.
- අටවන නාථකරණ ධර්මය සන්තෘෂ්ටියයි. ලද දෙයින් සතුටු වීම මෙයින් අදහස් කරයි. තමාට ලැබෙන චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, බෙහෙත් පිරිකර ආදියෙන් සතුටට පත්විය යුතුය. වටිනා දෙයක් ලැබුණද නොවටිනා දෙයක් ලැබුණද, ඒ දෙකම සතුටින් පිළිගැනීම, පරිභෝග කිරීම කළ යුතුය. නොවටිනා දෙයින් සිත කිපීමට පත්කර නොගත යුතුය, නොසතුට ඇති කර නොගත යුතුය. වටිනා දෙය තුළ ඇලීමට පත් නොවිය යුතුය.
- නවවන නාථකරණ ධර්මය වන්නේ සිහියෙන් යුක්ත වීමයි. උතුම් වූ සිහියෙන්ද සම්පජඤ්ඤයෙන්ද යුක්ත විය යුතුය. සිහිය පුහුණු වූ කල්හි පෙර කරන ලද දෙයද පෙර කියන ලද දෙයද සිහි කළ හැකිය, අනුස්මරණය කළ හැකිය. අනුස්මරණය යනු නැවත නැවත සිහිකිරීමයි. එබඳු උතුම් සිහියකින් සහ නුවණකින් යුක්ත වීම නාථකරණ ධර්මයයි.
- ප්‍රඥාවන්ත වීම දහවන නාථකරණ ධර්මයයි. ප්‍රඥාව කියා හඳුන්වා ඇත්තේ ආර්ය වූ ප්රඥාවයි. එසේම නිබ්බේදික නමින් හඳුන්වනුයේ ලෝභ, දෝෂ, මෝහ ආදී කෙලෙස් සමුදාය බිඳ දැමීමට සමර්ථ වූ නුවණකින් යුක්ත වීමයි. එම නුවණ වෙන කිසිවක් නොව අනිත්‍ය, දුක්ඛ, අනාත්ම අවබෝධ කරගන්නා වූ විදර්ශනා ඥානයයි.